Posted by : Tharuka Gunaratne Monday, October 21, 2013



ඇත්තය! අක්කා කිවූ දිනයට ඈ අප නිවසට පැමිණියාය. එහෙත් තනිව නොවේ. ඇගේ මවද, නැතිනම් අප කවුරුත් කතා කරන "කාන්ති" නැන්දා ඈ එක්කන් ආවාය.


"බලන්න දුවේ, මේ කෙල්ල මේ ලෝකෙ වැඩක් කරන්නෙ නෑ"

ඇගේ අම්මා කීවේ අක්කාටයි.

"ගණන් එහෙම පාඩම් කරන්න පුලුවන්ද? ඈ? බෑ නේ! කොච්චර කිව්වත් ගණන් හදන්නෙ එහෙම නම් නෑ වැරදිලාවත්"


කාන්ති නැන්දා නෝක්කාඩු නැගුවාය. ඇය කුමක් කීවද උත්පලා ගණන්කාරියක් බව මම හොදින්ම දැන සිටියෙමි. මටත් සමහර වෙලාවන්හි ඈ ගණන් කියා දීමට ඉදිරිපත් ඌවාය. එහෙත් මම ඒ බවක් කියන්නට නොගියෙමි. ගෙදර සිටියේ අක්කාත් මමත් පමණි. අම්මාත් තාත්තාත් රැකියාව සදහා පිටත්ව ගොස්ය. අක්කා පමණක් ඔවුන් සමග කතා කිරීම හොද නැතියැයි සිතූ මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. උත්පලාත්, ඇගේ අම්මාත් මා දෙස බලා සිනාසුනහ. මමද පොඩි සිනහවක් පෑවෙමි.


"පුතාත් අපේ දූගෙ වයසෙ නේද?"


"ඔව් නැන්දේ"


"දෙන්නට එකට පාඩම් වැඩ එහෙම කරන්න බැරිය?"


ඇගේ අම්මා කොතරම් මෝඩද? නොදන්න කොල්ලන් විශ්වාස කිරීම හොද නැත. මම පිළිතුරු නොදුන්නෙමි. ඒ වෙනුවට සිනහවක් දමා උත්පලා දෙස බැලීමි. ඈ පෙරදින රාත්‍රියේ නිදිමැරූ බවට සලකුනු තවමත් ඉතිරිව තිබුනි. ඈ පාඩම් කරන්නට ඇත. "පව්"


උත්පලා නිවසේ රදවා කාන්ති නැන්දා නගරයට යන බව පවසා පිටත්ව ගියාය. අක්කා ඇයත් සමග මේසයට වාඩි වී කුමක්දෝ විස්තර කරන්නට වූවාය.



***************************

කෙසේ වුවත් අක්කා ඈ දන්නා සියලු ශිල්ප උත්පලාට උගන්නා ඈ පිටත් කරන්නට යන විට බිම් කලුවර වැටෙමින් තිබුනි. මම සාලයේ සෝපාවේ හොද නින්දක සිටියෙමි. අක්කා පැමින මා නැගිට්ටෙව්වාය. මොකක්දෝ කරුමයකට හැම කුණුගොඩම බේරුවල් බොක්කට ගලනවාක් මෙන් තවත් භාරදූර රාජකාරියක් අක්කා මට පැවරුවාය.

"මේ බං උත්පලා නංගිව ගෙදෙට්ට ඇරලල වරෙන්කො"


"අනේ අක්කෙ? ඇයි අක්ක යන්ඩකෝ?"


"මම ගියාම කව්ද ගොනෝ රෑට කන්ඩ් උයන්නෙ? අම්ම එනකොට රෑ වෙයි කිව්ව"


"අනේ නිදිමතයිනෙ"


"පව් යකෝ ඒ කෙල්ල! තනියම යන්නම් කිව්ව. ඒත් මේ කලුවර වැටිච්ච වෙලාවෙ තනියෙන් ඒකිව යවන්න බෑ නෙ මල්ලි. ඉතින් ටක් ගාල ගිහින් එනවකො! වැඩි දුරක් නෑ"


"හා හා එහෙනම්" මම පැවසීමි.


"හොද කොල්ලා, මේ එනගමන් කඩේට ගිහින් පණහෙ ඩයලොග් කඩ් එහෙකුත් ගෙනෙන් සුදු මල්ලියේ" අක්කා කීවේ රුපියල් පණහක් මා අත තබාය. මම කාමරයට ගොස් අවුලක් නැති ඇදුමක් දාගෙන පිටතට පැමිණියෙමි. උත්පලා අක්කාත් සමග සාලයේ බලා සිටියාය. අනතුරුව මම ඈ සමග පාරට බැස්සෙමි.


මා මොහොතක් නිහඩව ගමන් කලත් උත්පලාට නම් එසේ කරන්නට නොහැකිය. මම ඒ බව දනිමි. ඈ කියවනවා වැඩිය, නරකක් නොවේ, කියවන කෙල්ලන් ලග පාලුව නැත.

එහෙත් අද ඈ නිහඩය. බිම බලාගෙන පොත් ටිකත් තුරුලු කරන් ඔහේ ගමන් කරයි. මම ඈ දෙස බැලුවෙමි. වෙනදා ඇති සිනහව ඈ කෙරෙන් ඉවත්ව ඇත. මුහුණ වෙනදාට නැති අමුතු මලානික පාටකින් වැසී ඇත. බොහෝ වෙලාවක් හැඩූ අයකුගේ මෙන් ඇස් දෙක මදක් රතුය.

"ඒයි, මොකෝ?"


"ඇයි දසිත්?"


"නෑ! මොකක්ද ප්‍රශ්නෙ?"


"මට? අනේ නෑ දසිත්! කිසිම ප්‍රශ්නයක් නෑ"


ඈ බිම බලාගෙනම උත්තර දුන්නාය.


"නෑ උත්පලා, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව! මට ඒක ඔයාගෙ මූණෙන්ම පේනව"


හ්ම්ම්ම්ම්! ඔව්! මා ඈ නමින් ඇමතූ ප්‍රතම අවස්තාව එය විය. මම කොතරම් මිතුරු උවද මින් පෙර කිසි දිනක ඈ නමින් ඇමතුවේ නැත. ඈට "කාඩ්" එකෙන් ඇමතීමි. [එය පැවසීම සුදුසු නොවේ]


ඈ මා දෙස තත්පර කීපයක් බලා සිටියාය. ගමන් වේගය අඩු කලාය. ඈ කුමක්දෝ සිතේ සගවගෙන දුක්වන බව මට වැටහුනි.


"කියන්න ලමයෝ, ඔච්චරම හංගන්නෙ ඇයි? ප්‍රශ්නයක් නම්  මම උද්ව් කරන්නම්"


"නෑ දසිත්, ඔයාට බෑ!"


මතක තබා ගන්න. තමන් කැමති කෙල්ලක් තමන්ට යමක් කල නොහැකි බව පැවසීම ඔබේ සිතට එල්ල කරන දරුණු පොලු පහරකි.


"කියල ඉන්නවකෝ බැරි පුලුවන්කම කියන්න"


"ඔය ඔයාට තරහ ගිහින්"


"හ්ම්ම්ම් ටිකක් විතර"


"නෑ දසිත්! ඔයාට තියා කිසි කෙනෙක්ට බෑ ඒ ප්‍රශ්නෙදි මට උදව් කරන්න"


"ඇයි ඒ?"


"දන්නවද ඊයෙ දිනේ කවද්ද කියල?"


"නෑ? විසි හතරද කොහෙද? ඇයි?"


"ඊයෙ තමයි තාත්තගෙ අවුරුදු දෙකේ දානෙ"


"හෑ?"


මම පසුතැවිලි වීමි. ඇගේ පියාගේ දානේ? ඔහු මියගොසින්ද?


"ඔව් දසිත්, කාටවත් මේක කියන්න එපා, මම ඔයාව අන්ශුවර් කරනව නෙවෙයි ඒත් ප්‍රොමිස් වෙන්න"


"අනිවාර්යෙන්! සොරි උත්පලා! මම ඒ බවක් දැනන් හිටියෙ නෑ"


"ඔව්, අපි මෙහෙ පදිංචියට එක්ක අවුරුද්දකට කලිනුයි තාත්ත නැති උනේ, මට ඊයෙ එයාව ගොඩාක් මතක් උනා දසිත්!"


මම ඈ දෙස බැලීමි, ඇගේ අහිංසක දෙනෙත් අග තවත් කදුලු බිදුවක් නැග ඇත.


"මම ගොඩාක් අඩන්න ඇති තනියම කාමරේට වෙලා! අම්ම කැමති නෑ මම දුක් වෙනව බලන් ඉන්න, ඒත් තාත්ත එක්ක ඉදපු අතිතෙ මට අමතක වෙන්නෙ නෑ, සමහර විට අම්ම මම අඩනව දකින්න ඇති, ඒකයි මාව ඔයාලගෙ දිහා එව්වෙ"


"උත්පලා"


මම පැවසීමි.


"ඔයා දුක් වෙන්න එපා, ඔයා තනි වෙලා නෑ නෙ! ම්ම්ම්ම්ම් මම, අක්කා, අපේ අම්මල තාත්තල, ඔයාගෙ අම්මා, ඉස්කෝලෙ අය........ මේ හැමෝම ඔයත් එක්ක ඉන්නව හැමදාම"


"තෑන්ක්ස් දසිත්, ඒත් ඔයාලත් කවද හරි මගෙන් ඈත් වේවි"


ඈ කීවේ පාරේ ඈත බලාගෙනය.


"නෑ අපි ඉන්නව හැමදාම ඔයත් එක්කම! ආයෙමත් කවදාහරි දුකක් දැනුනොත් අපේ ගෙදර දොර ඇරල තියෙන්නේ! ඕන වෙලාවක අක්කත් මමත් ඉන්නව ඔයාගෙ දුක අහන්න"


ඈ යන්තමින් සිනහ වූවාය. අත් ලේන්සුව ගෙන ඇස් දෙක පිසදා ගත්තාය.


"දැන්වත් හිනාවෙලා ඉන්නවා, ඔයා දුකින් ඉන්නකොට මතත් නිකම් ඇඩෙන්න වගේ"


"ආ? ඒ මොකටද ඔයා දුක් වෙන්නේ?"


මම නිරුත්තර වූයෙමි.


"යාලුකමට"


ඈ සිනහ වූවාය! දුක්බර සිනහවක් වූවද ඈ තුල පැවති ලස්සන ඒ තුලින් නොමදව විදහා දැක්විණි, ඔයින් මෙයින් අප ඇගේ නිවස අසලටම පැමිණ තිබුණි. ඈ මා දෙස බැලුවාය. ගෙතුල ඇගේ අම්මා කිසියම් වැඩක් කරනු, විදුලි පහන් එළියෙන් මට පෙණුනි,


"එහෙනම් උත්පලා මන් යනවා. ආයෙ එන්නකෝ ඒ පැත්තෙ"


"තෑන්ක්ස් දසිත්! එන්න වෙනවා කොහොමත් ආයෙම! ගණන් අහගන්න එපැයි....... ඇතුලට එනවද ඔයා? ම්ම්?"


"දැන් බෑ ළමයෝ! පස්සෙ එන්නම්කෝ හොදේ, මම යනවා තවත් රෑ උනොතින් මට මෙහෙ ඉන්නයි වෙන්නේ"


"හ්ම්ම් හ්ම්ම් පරිස්සමින් යන්න හොදේ"


ඈ දුබල ලෙස අත වැනුවාය. මම ඈ ගෙතුලට යන තෙක්ම ඈ දෙස බලා සිටියෙමි.


--------------------------------------------------------------------------------


==============================================



ඉතිරිය පසුවට...............................................


==============================================




------------------------------------------------------------------------------------------------------------


ලියන මම - 

{ 5 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -